#Environment
Target:
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති,
Region:
Sri Lanka

හේන් වගාව, කෘෂිකාර්මික ව්‍යාප්තිය, බඩ ඉරිඟු, උක් වගාවන් සහ නිවාස සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සහ අනවසරයෙන් අල්ලා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර හා වනජීවී වාසස්ථාන විශාල අනතුරකට ලක්ව ඇත. සැබෑ වනාන්තරවලින් දැන් ඉතිරිව ඇත්තේ 17% කටත් වඩා අඩු ප්‍රමාණයකි. එම වනාන්තර වාසස්ථාන කොට ගෙන 7, 500 කට අධික ශාක විශේෂ සහ සත්ව විශේෂ 15,000 කට අධික සංඛ්‍යාවක් ඇත. මෙයින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේණික වේ, එයින් අදහස් වන්නේ ඒවා අතුරුදහන් වුවහොත් ඒවා සදහටම නැති වී යනු ඇති බවයි. වනාන්තර හා වනජීවී කොරිඩෝව අහිමි වීමෙන් අලි-මිනිස් ගැටුම්, ජල පෝෂක අහිමි වීම සහ තවත් බොහෝ පාරිසරික හා සමාජ ගැටලු ඇති වේ. 2020 දී අලි ඇතුන් 320 ක් මිය ගිය අතර මිනිස් අලි ගැටුම හේතුවෙන් මිනිසුන් 112 ක් මියගොස් තිබේ. කෙසේ වෙතත්, ගරු ජනාධිපතිතුමාගේ ප්‍රජා සංචාරයේදී ශ්‍රී ලංකාවේ වනජීවී හා වන සන්‍ රක්ශන බලධාරීන්ට අනවසරයෙන් ඇතුළු වූවන්ට එරෙහිව ගොනු කර ඇති නඩු ඉවත් කර තණබිම්වලට ඉඩ දෙන ලෙස නියම කළේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1.

අතිගරු ජනාධිපතිතුමණි,

පාරිසරික සුරක්‍ෂිතතාවය සහ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගත පරම්පරාවේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා වූ අභියාචනයයි

පහත අත්සන් කරන අපි වර්තමානයේදී හේන් වගාවන්ට, කෘෂිකාර්මික ව්‍යාප්තියට මෙන්ම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබාදීම යනාදී ජනතා සංවේදී ව්‍යාපෘතීන්ට මුවාවී රට තුළ සිදුකරන පාරිසරික විනාශය පිළිබඳව සැලකිලිමත් වන පුද්ගලයින්, සංවිධාන සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙමු.

පසුගිය කාලවකවානුව පුරාම ගමින් ගමට ගොස් දීර්ඝකාලයක් තිස්සේ පැවති නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබා දීමට ඔබතුමා දක්වන කැපවීම අපි ඉතාමත් අගය කොට සලකමු. එහිදී ගම්වැසියන් විසින් ඔබතුමාගේ අවධානයට යොමු කරන බොහෝ ගැටළු වලට කඩිනම් විසඳුම් අවශ්‍ය බව අපගේ ද විශ්වාසයයි. කෙසේනමුත්, ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම සහ වනාන්තරවලට අනවසරයෙන් ඇතුළු වීම පිළිබඳව ඔබගේ මතය ගැන අප බෙහෙවින් සැලකිලිමත්වන අතර එමඟින් කාලයක් තිස්සේ රැකුනු වනජීවී වාසස්ථාන සහ ජල පෝෂක ප්‍රදේශ විනාශ වන බව අප ඔබතුමාගේ අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සැබෑ වනාන්තර වලින් ඉතිරිව ඇත්තේ 17% කටත් වඩා ඉතා අඩු ප්‍රමාණයකි. දැනට ඉතිරිව ඇති වනාන්තර වාසස්ථාන වල ශාක විශේෂ 7, 500 කට අධික ප්‍රමාණයක් සහ සත්ත්ව විශේෂ 15,000 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන අතර මෙවැනි ලංකාවටම පමණක් ආවේණික වූ වටිනා ශාක හා සත්ත්ව විශේෂ නැතිවී ගියහොත් මෙම විශේෂ සඳාකාලිකවම අපට අහිමිවනු ඇත. මෙම වනාන්තර නිසා බිහිවන ජල පෝෂක මඟින් ගංඟා 103 ක් සහ ජලාශ 18,000 කට වැඩි ප්‍රමාණයක් සඳහා ජලය සැපයෙන අතර ඒවා වැසි රටා පාලනය කර තාපය උරා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. එමෙන්ම මේ වනාන්තර ප්‍රධාන වශයෙන් ගංවතුර හා නියඟ පාලනය කිරීමට උපකාරී වන අතර දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව ද අපහට ලබාදේ. මෙම වනාන්තර අපට තවත් බොහෝ මිල කල නොහැකි පාරිසරික සේවාවන් සපයන නමුත් බොහෝ අවස්ථාවන්හීදී අප ඒවා පිළිබඳ නොසැලකිලිමත් වේ. අලි සංක්‍රමණය සඳහා ඇති දහයියාගල, මහවැලි ගංඟා නිම්න රක්ෂිතය වැනි කුඩා වනාන්තර සියලුම වනසතුන්ගේ පැවැත්මට වැදගත් අතර විශේෂයෙන් අලි ඇතුන්ගේ සංක්‍රමණයට එම කුඩා වනාන්තර ඉතාමත් වැදගත් වේ.

ශ්‍රී ලංකාව වන අලි ඇතුන් වාසය කරන රටක් ලෙස හැඳින්වීමට අප තවමත් වාසනාවන්ත වේ. අලි ඇතුන් යනු රටකට වටිනාම වූ ජාතික සම්පතක් වන අතර වනජීවී සංචාරක ව්‍යාපාරය හරහා ඔවුන් විශාල විදේශ විනිමය රටට ගෙන ඒමට උපකාරී වන බව ඔබ අප සැවොම දන්නා කරුණකි. වනාන්තර කොරිඩෝව අවහිර කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසාන වනජීවී වාසස්ථාන ආක්‍රමණය කිරීම අප සැමගේ ජීවනෝපායන්ට බලපාන අතර එය අපගේ සංචාරක පද්ධතියටද අහිතකර ලෙස බලපානු ඇත. කනගාටුවට කරුණක් නම් 2020 වසරේදී පමණක් අලි ඇතුන් 320 ක් මරණයට පත්ව ඇති අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 112 ක් පමණ මිය ගොස් ඇත.

අප දැනට ඉතිරිව ඇති වනාන්තර ආරක්ෂා නොකරන්නේ නම් පාලනය කළ නොහැකි තරමට මිනිසුන් සහ වන සතුන් අතර ගැටුම් ඇති වීම නියත කරුණකි. ස්වභාව ධර්මයෙන් අපට කිසිදු මිල කිරීමකින් තොරව ලබාදෙන සේවාවන් අහිමිවීම හේතුවෙන් වනන්තර මායිම් ආසන්නයේ සිටින ගම්වාසීන් මෙන්ම අන් සියලු ප්‍රජාවන්ද නියඟය සහ ගංවතුර ඇතිවීමේ තත්ත්වයන්ට මුහුණ දීමටත් පරාගණය නැතිවීම සහ බෝග අස්වැන්න අහිමිවීම ආදියෙන් පීඩා විඳිනු ඇත. මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා දරාගත නොහැකි තරම් අධික වියදම් සහිත යටිතල පහසුකම් අදාල ජනතාව වෙත ලබාදීමට රජයට සිදුවනු ඇත. මෙලෙස වැඩිවන නීතිවිරෝධී අනවසර ක්‍රියාකාරකම් නීතිගත කිරීමට දිරිගැන්වීම හා සාධාරණීකරණය කිරීම ප්‍රවනතාවක් ඔබතුමාගේ නිල කාලය තුල පෙන්නුම් කරන අතර එය රටට පමණක් නොව, රටේ නායකයා ලෙස අනාගත පරපුර ඔබතුමා පිළිබඳව සිදුකරන තක්සේරුවට ද අතිශ්‍යයෙන් අහිතකර ලෙස බලපානු ඇත.

ගෝලීය දේශගුණික දර්ශකයට (2019) අනුව, දරුණුතම බලපෑමට ලක්වූ රටවලින් අතරින් හයවන ස්ථානයට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබීම කිසිලෙසකවත් ආඩම්බරවීමට හැකි කරුණක් නම් නොවේ. දේශගුණික විපර්‍යාස පිලිබද එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පැරිස් සම්මුතියට අනුව ජාතික දායකත්වය ලෙස වනාන්තර හෙක්ටයාර් 70,000 ක් නැවත වගා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි. කෙසේ නමුත්, දැනට සිදුවෙමින් පවතින ඉඩම් කොල්ලය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම ඉලක්කයට අනුගතවීමට නම් නොහැකි වනු ඇත.

මායිම් ගම්මාන අවට ඇති ඉඩම් අත්පත්කරගැනීම පොදු ගැටලුවක් බවට පත්ව ඇත්තේ වගා කළ හැකි ඉඩම් නොමැතිකම නිසා නොව, ඵලදායී කෘෂිකාර්මික ක්‍රමවේදයන් සහ අස්වැන්න සඳහා වටිනාකමක් එකතු නොකිරීම නිසාවෙනි. කෘෂිකර්මාන්තය සඳහා වැඩි වැඩියෙන් ඉඩම් අත්පත් කර ගැනීමකට හා ඉඩම් කොල්ලයකට ඉඩ දෙනවා වෙනුවට, වඩාත් විද්‍යාත්මක හා ඵලදායී ලෙස මායිම් ගම්මාන වල ඇති ගැටලු විසඳාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකියාව ඇති අතර එමඟින් වටිනා පුරවැසියන්ගේ සමෘර්ධිය සහතික කිරීමටත් හැකි වනු ඇත.

ලෝකය දැනටමත් එහි පරිසර පද්ධති බොහොමයක් යථා තත්ත්වයට පත් කළ නොහැකි තරමටම විනාශ කර ඇත. අපේ මේ මව් බිමට දැනට ඉතිරිව ඇත්තේ ඉතා සුලු ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් පමණි. එබැවින්, ස්වභාවධර්මයේ අයිතිවාසිකම් සහ අපගේ අනාගත පරපුරේ අයිතිවාසිකම් පිළිබඳව විශ්වාස කරන ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන අපි සොබාදහමට සවන් දෙන ලෙසත්, මාතෘභූමියට ආදරය කරන කෘෂිකාර්මික වියතුන්ට සහ සංරක්ෂණ ප්‍රජාවට සවන් දෙන ලෙසත්, අපගේ මාතෘභූමිය පරිසර සංහාරයෙන් මුදවාගන්නා ලෙසත් එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස අනිවාර්‍යයෙන්ම සිදුවිය හැකි භයානක ස්වාභාවික විපත් වලින් අප රට බේරා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ලෙස ඔබතුමන්ගෙන් අප ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී

GoPetition respects your privacy.

The ශ්‍රී ලන්කාවේ පරිසර සන්හාරය නතර කරන ලෙස කරන ඉල්ලිමයි petition to ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති, was written by Hemantha Withanage and is in the category Environment at GoPetition.